Wednesday 20 July 2022

මහනුවර ශ්‍රි දළදා මාළිගාව


මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රයේ පිහිටා ඇති ශ්‍රි දළදා මාළිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී ධාතූන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික වැදගත්කමකින් යුතු පූජනීය සිද්ධස්ථානයකි.

මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැලයත් හන්තාන කදුවැටිය එක්පසෙකින් හා බහිරව කන්ද තවත් පැත්තකින් වට වී ඇති මේ පින්බිම සෞම්‍ය දේශගුණයකින් යුක්ත වේ. අලුත් නුවර, මැදමහනුවර, හගුරන්කෙත නුවර,නිලමේ නුවර,සෙංකඩගල නුවර, හා ගලේ නුවර දළදා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ. 

ශ්‍රී දළදා මාළිගාව මුල් වරට ගොඩනගනු ලැබුවේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. නමුත් එතුමා විසින් ඉදිකල ශ්‍රී දළදා මාළිගාව පෘතුග්‍රීසි ආක්‍රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාළිගාව ඉදිකරනු ලැබුවේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1739-1739) රජු විසිනි. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගැනීම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක්ද එදා පැවතුණි. නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසු රජකමට පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරුද දළදා මාළිගාව වැඩි දියුණුකොට ආරක්ෂා කළහ. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කර වූ අතර මගුල් කඩුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර මූලචාරියා ( අලකේශ්වර ඩිංගිරි අප්පු ) නැමැත්තෙක් ඉදිකර ඇත. රජවරු දස දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන සිටි බවට ඉතිහාසගත තොරතුරු වලින් හෙළි වේ. 

 *දළදා වහන්සේ

 *වැඩහිටි මන්දිරය,             

*ධාතුඝරය,

*දළදාගේ

*දළදා මන්දිරය

*දළදා මාළිගාව      

              යනා දී නම්වලින් ශ්‍රී දළදාව හදුන්වා ඇත.


දළදා මාළිගාවේ ගොඩනැගිලි

          *වැඩසිටින මාළිගය 

          *අලුත් මාළිගාව

          * පත්තිරිප්පුව


දළදා මාළිගාව ආශ්‍රිතව ප්‍රධාන දේවාල 4ක් ඇත.ඒවා සතර මහා දේවාල වශයෙන් හදුන්වනු ලබයි.

              1- නාථ දේවාලය 

              2- විෂ්ණු දේවාලය 

             3-කතරගම දේවාලය

             4-පත්තිනි දේවාලය 

දියවඩන නිලමේ භාරව දළදා මාළිගාවේ වැඩකටයුතු සිදු වේ. මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරන අතර තේවාව සදහා විශාල පිරිසක් බැදී සිටියි.  මෙම පූජාව (තේවාව) දිනකට තෙවරක් (පාන්දර, දහවල්,සවස)  පවත්වනු ලබයි.බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍ය පවත්වයි. මෙහි දී සුවද ගැන් වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන රෝග සුව කිරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.

         * අලුත් සහල් මංගල්‍යය 

        * අලුත් අලුත් මංගල්‍යය

        *ඇසල මංගල්‍යය

        *කාර්තික මංගල්‍යය

දළදා මාළිගාව මූලික කරගනිමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර දැක්වීම උදෙසා අගෝස්තු මාසයේ පවත්වනු ලබන දළදා පෙරහැර දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණයට පාත්‍ර වන්නකි. සතර මහා දේවාල පෙරටු කර ගනිමින්  කලා අංග රැසකින් යුතුව එය පවත්වනු ලබයි. එහි යන අලි පන්තියේ නැටුම් කාගෙත් සිත්ගනී. දියවඩන නිලමේතුමා පෙරදැරිව යන අලංකාර පෙරහැර කුඹල්, රන්දෝලි වශයෙන් දින 14ක් පමණ පවත්වනු ලබයි. අවසන් පෙරහැර දවහල් කාලයේ පවත්වමින් ගැටඹේ දියකපන සිථානයේ දිය කපමින් අවසන් කරනු ලබයි. 



මෙකී දෙස් විදෙස් සංචාරකයිනේ ගෞරවයට පාත්‍රවන ශ්‍රී දළදා මාළිගාව වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බදු ශ්‍රී දළදා මාළිගාව උඩරට සෙංකඩගල පුරයටම සම්පතකි.

 



 



No comments:

Post a Comment

අම්බුළුවාව

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ පිහිටා ඇති අම්බුළුවාව කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සදහා නිර්මාණය කරන ලද ස්වාභාවික කන්දකි....