Wednesday 20 July 2022

පේරාදෙණිය උද්භිත උද්‍යානය


රාජකීය උද්භිත උද්‍යාන යනුවෙන් හදුන්වන මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයේ පිහිටා ඇති සුන්දර මල්වත්ත දෙස් විදෙස් ජනයාගේ ආකර්ෂණය දිනාගන්නා සුන්දර ස්ථානයකි. 

පිවිසෙන දොරටුව


කොළඹ නුවර මාර්ගයේ පේරාදෙණිය නගරයේ මහවැලි ගග හරහා වූ පාලම මතින් එතෙර වූ විට පිවිසෙන ගලහ හන්දියේ මෙම උද්භිත උද්‍යානයට පිවිසෙන දොරටුව පිහිටා ඇත. මෙහි ඉදිරිපස ඇත්තේ සුන්දර පේරාදෙණිය සරසවියට පිවිසෙන මාර්ගයයි. 

මුහුදු මට්ටමේ සිට මීටර් 500ක උසකින් යුතු ව සෞම්‍ය දේශගුණයක් සහිත මෙම උද්‍යානය තුන් පැත්තකින් මහවැලි ගගට මායිම් වී ඇත. මෙය අක්කර 147ක(හෙක්ටයාර් 59) භූමි භාගයක පැතිර පවතී.


මෙහි ඉතිහාසය වර්ෂ 1371 දක්වා අතීතයකය දිවයයි. අතීතයේ තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ සභාව මෙහි පිහිටා තිබූ බව ඉතිහාසගත තො‍රතුරු වල සදහන් වේ. පසුව මෙම ස්ථානය උද්භිත උද්‍යානයක් ලෙස සැකසීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ වර්ෂ 1821දී ඇලෙක්සැන්ඩර් මුං විසින්‍ ය. ඉංග්‍රීසින් විසින් මෙම උද්‍යානය ඉදිකර ඇත්තේ තම විවේක කාලය නිදහසේ ගත කිරීමට ය. 1912 දී මෙහි අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටට් පැවරී ඇත. වර්තමානයේ මෙහි වැඩකටයුතු කරගෙන යන්නේ උද්භිත දෙපාර්තමේන්තුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ ය. 

පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය තුළ ශාක වර්ග 4000ක් පමණ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ ගස ඉංග්‍රීසින් විසින් මෙම උද්‍යානයේ සිටුවා ඇත. එමෙන්ම මෙහි තාල වර්ගයට අයත් ශාක විශේෂ 200ක් පමණ දැකගත හැකි වුවත් සිෂෙල්ස් දූපත්වලින් ගෙන එන ලද දෙබිඩි පොල්ගස් කෙරෙහි සැමගේ අවධානයට ලක්වෙයි.  නොයෙක් පැහැයෙන් යුත් අලංකාර මල් වර්ග, බෙහෙත් වර්ග, කුළුබඩු,පැළෑටි වර්ග,විදේශීය ශාක බොහෝමයක් මෙහි දැකගත හැකි අතර ඕකිඩ් විශේෂ සදහාද මෙම උද්‍යානය ප්‍රසිද්ධියක් උසුලයි. 


දෙබිඩි පොල්ගස්

            
              


                  
      
 
 මල් වර්ග
       



                        



ඕකිඩ්        


වසර පුරාම විවෘතව ඇති මෙම උද්‍යානය උදෑසන 7:30 සිට පස්වරු 5 දක්වා විවෘතව පවතී. උද්‍යානයට ඇතුල් වීමට ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වන අතර දෙස් විදෙස් සංචාරකයින්,පාසැල් සිසුන් වාර්ෂිකව මිලියන 1.5ක් මෙය නැරඹීමට පැමිණෙයි. පිටතින් ආහාර රැගෙන විත් ආහාර ගැනීමට හැකි අතර මෙහි ඇති ආපනශාලා උදෑසන 10 සිට පස්වරු 5 දක්වා විවෘතව පවතී. 

වසර පුරා මලින් හැඩගැන්වෙන සුන්දර පේරාදෙණිය උද්භිත උද්‍යානය කාගෙත් ආකර්ෂණය දිනා ගන්නා මනරම් ස්ථානයකි. එහි ඇති සුන්දරත්වය නිසාම නැරඹුම් ස්ථානයක්,විවේකය සදහා ගත කරන ස්ථානයක් වශයෙන් මෙය තරුණ පිරිස අතර වඩාත් ජනප්‍රිය වේ.














No comments:

Post a Comment

අම්බුළුවාව

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ පිහිටා ඇති අම්බුළුවාව කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සදහා නිර්මාණය කරන ලද ස්වාභාවික කන්දකි....